ඉසුරුමත් හෙට දිනක්, සෞභාග්‍යවත් මව්බිමක් යන තේමාව යටතේ 73 වන ජාතික නිදහස් දිනය අභිමානවත් අයුරින් පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.
කොවිඩ් නයින්ටීන් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව 73 වන ජාතික නිදහස් දින සැමරුම පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසුවේ. ඒ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ අද පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකදීයි. මෙවර නිදහස් සැමරුම් උත්සවයට යුද හමුදා නිලධාරීන් 4325දෙනෙකු නාවික හමුදා නිලධාරීන් 868 දෙනෙකු ගුවන් හමුදා නිලධාරීන් 945 දෙනෙකු හා පොලිස් නිලධාරීන් 1382නෙකු සහභාගී වීමට නියමිතයි. සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් 515 දෙනෙකු හා ශිෂ්‍ය භටයින් 355 දෙනෙකු ද සැමරුම් උළෙලට එක්වනවා. සියලු ජාතීන් නියෝජනය කරමින් සාම්ප්‍රදායික සංස්කෘතිකාංග ද මෙවර ජාතික නිදහස් දින උත්සවයට එක්කිරීමට නියමිතයි. නිදහස් දින සැමරුමට සමගාමී ලෙස දිවයින පුරා රුක් රෝපණ වැඩසටහනක් ද ක්‍රියාත්මක කෙරෙනවා.


















