
NASA ආයතනය 1997 දී අඟහරු වෙත Rover යානා යැවීමේ ව්‍යාපෘති ආරම්භ කළා. මේ වන විට ඔවුන් අඟහරු වෙත Rover යානා 4ක් යවා තිබෙනවා; Sojourner (1997), Spirit සහ Opportunity (2004), Curiosity (2012). අඟහරු වෙත යැවීමට සුදානම් කර ඇති නවතම Rover යානය වන්නේ Perseverance ය. මෙය සාමාන්‍ය Rover යානයක් වුවද මෙහි විශේෂත්වය වන්නේ ඒ සමඟ Ingenuity නම් කුඩා හෙලිකොප්ටරයක් අඟහරු වෙත ගොඩබැස්වීමට කටයුතු යොදා තිබීමයි.
Perseverance Rover
Curiosity රෝවරයට ඉතාමත් සමාන ලෙස නිපදවා ඇති Perseverance රෝවරය දිගින් අඩි 10 ක් සහ පළලින් අඩි 8ක් වනවා. මෙය අඩි 7ක උසින් යුක්තවන අතර බර කිලෝග්‍රෑම් 1050ක්. Curiosity මෙන්, Perseverance සතුවද රෝද හයක්, රොබෝ අතක් සහ පාෂාණ සාම්පල ලබා ගැනීමට drill එකක් ද පවතිනවා. නමුත් නව රෝවරය මඟින් අරමුණු කිහිපයක් ඉටු කරගැනීමටයි NASA ආයතනය බලාපොරොත්තු වන්නේ. ඒ සඳහා අති නවීන උපකරණ කිහිපයක්ම Perseverance වෙත එක් කර තිබෙනවා. ඒ අතර ඇති එක්ස් කිරණ වර්ණාවලීක්ෂය සහ පාරජම්බුල ලේසර් මඟින් අඟහරු මත අතීතයේ පැවති ජීවි සාධක ක්ෂුද්‍ර ජීවි පරිමාණයෙන් පරික්ෂා කර බැලිය හැකි වනවා. ඊට අමතරව අඩි 30 (මීටර් 10) ක් පමණ ගැඹුරට පාෂාණ, ජලය සහ අයිස් තට්ටු සිතියම් ගත කළ හැකි භූගත විනිවිද යන රේඩාර් උපකරණද වේ. මෙය අඟහරු පෘෂ්ඨයට පහළින් ඇති දෑ නිරීක්ෂණය සඳහා වන පළමු උපකරණය වනවා.

Perseverance රෝවරය සතුව පළමු අඟහරු රෝවරය වන Sojournerට වඩා පස් ගුණයකට වැඩි කැමරා සවි කර තිබෙනවා. ඒ අනුව නව රෝවරයේ කැමරා 23 ක් ඇත. ඒවා Curiosity වලටත් වඩා වර්ණ වලින් යුත් ත්‍රිමාණ රූප ලබා දෙනු ඇතැයි Perseverance හි ප්‍රධාන zoom කැමරාවේ මුලික පරීක්ෂකයා වන ඇරිසෝනා ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ, ජිම් බෙල් පවසනවා. නව තාක්ෂණයෙන් නිර්මාණය කර ඇති මෙම කැමරාවලින් මෙගාපික්සල් 20 වර්ණ ඡායාරූප ලබා ගත හැක. එමෙන්ම ඒවාට පුළුල් දෘෂ්ටි කෝණයකින් ඡායාරූප ලබාගත හැකි නිසා ඡායාරූප කිහිපයක් ගැනීම වෙනුවට, අදාළ දර්ශනය එක ඡායාරූපයකින් ග්‍රහණය කර ගත හැක. එසේම කැමරාවල චලන බොඳවීම (Motion Blur) අඩු බැවින් රෝවරය ගමන් කරන විටද ඡායාරූප ලබා ගැනීමේ හැකියාව පවතිනවා.
Ingenuity Helicopter
Ingenuity අඟහරු හෙලිකොප්ටරය NASA ආයතනයට අනුබද්ධ JPL (Jet Propulsion Laboratory) හි නිර්මාණයක් වනවා. එය කලින් නම් කර තිබුණේ Mars Helicopter Scout ලෙසයි. එයට නමක් ලබාදීම සඳහා NASA ආයතනයෙන් පැවැත්වූ රචනා තරඟයෙන් පසු Vaneeza Rupani නම් 17 හැවිරිදි පාසල් දැරිය විසින් එවූ Ingenuity යන නම තෝරාගත් බව NASA ආයතනය අද (30) දිනයේ නිල වශයෙන් නිවේදනය කළා

Vaneeza Rupani සහ Ingenuity හෙලිකොප්ටරය
අඟහරු මත ආරක්ෂිතව හෙලිකොප්ටරයක් පියාසර කළ හැකිද යන්න තක්සේරු කිරීම Ingenuity හෙලිකොප්ටරයේ එක් අරමුණකි. ඊට අමතරව අඟහරු ග්‍රහයා ඉහළ සිට සිතියම්ගත කිරීමත් අනාගතයේ පැමිණෙන රෝවර් යානා සඳහා හොඳම ධාවන පථ සැලසුම් කිරීමට මග පෙන්වීම ලබා දීමත් අපේක්ෂා කෙරේ. එවිට එම රෝවර් යානා උපද්‍රව නොමැති මාර්ග ඔස්සේ ගමන් කරවීමට සැලසුම් කළ හැක. එමඟින් අනාගත රෝවර් යානා වඩා ආරක්ෂිතව දැනට ගමන් කරන වේගය මෙන් තුන් ගුණයක වේගයෙන් අඟහරු මත ධාවනය කළ හැකි යැයි NASA ආයතනය පවසනවා. මෙම පරීක්ෂණය මගින් අනෙකුත් ග්‍රහලෝකවල වායුගෝලයේද යානා ගුවන් ගත කිරීම සඳහා වූ පදනම සැකසෙනු ඇති බව පැවසේ.

හෙලිකොප්ටර් යානා පෘථිවියේ පැරණි තාක්ෂණයක් වන නමුත් අඟහරු මත පියාසර කිරීම විශාල අභියෝගයක් වනවා. අඟහරුගේ පවතින තුනී වායුගෝලය නිසා, හෙලිකොප්ටරයක් අඟහරු පෘෂ්ඨයට මඳක් ඉහළින් පියාසර කරන විටත් එය අඩි 100,000 ක පෘථිවි උන්නතාංශයකට සමාන වේ. එය පෘථිවියේ හෙලිකොප්ටර් හෝ සාමාන්‍ය ගුවන් යානා පවා පියාසර කරන මට්ටමට වඩා බොහෝ සෙයින් වැඩි ය. පෘථිවියේ හෙලිකොප්ටරයක උන්නතාංශය වන්නේ අඩි 40,000 ක් පමණි.
එබැවින් JPL හි NASA ඉංජිනේරුවන්ට ඉතා සැහැල්ලු හා ඉතා ශක්තිමත් යානයක් සෑදීමට සිදු විය. එහි ප්‍රතිඵලයක් ලෙස බරින් කිලෝග්‍රෑම් 1.8 ක් වැනි ඉතා සැහැල්ලු Ingenuity හෙලිකොප්ටරය නිර්මාණය විය. තුනී වායුගෝලයට ඔරොත්තු දීම සඳහා එහි රොටර් බ්ලේඩ් 3,000 rpm වේගයෙන් භ්‍රමණය වන අතර එය බොහෝ පෘථිවි හෙලිකොප්ටර වලට වඩා 10 ගුණයක් වේගයක් වනවා. එසේම දෙපසට භ්‍රමණය වන අවරපෙති දෙකක් යොදාගෙන ඇති නිසා අඟහරු මත තුනී වායුගෝලය Ingenuity හට ගැටලුවක් නොවන බව එහි ඉංජිනේරුවන් පවසනවා. ධාවනයට අවශ්‍ය බලය ලබාගන්නේ 2000 mAh බැටරියකිනි. එය සුර්ය කෝෂ මඟින් නැවත ආරෝපණය වනවා.
අඟහරු භූමි ප්‍රදේශය තුළ සැරිසැරීම, ගොඩබෑම සහ විද්‍යා සමීක්ෂණය සඳහා ඉහළ resolution අගයක් ඇති කැමරාවක් මෙහි සවිකර තිබෙනවා. එසේම මෙහි Perseverance රෝවරයට දත්ත සම්ප්‍රේෂණය කිරීමේ සන්නිවේදන පද්ධතියක්ද අඩංගු වනවා. Ingenuity අඟහරු හෙලිකොප්ටරය ගුවන් යානයක් වුවද, අභ්‍යවකාශ යානයක් ලෙස ඉදිකර ඇත්තේ දියත් කිරීමේදී ඇතිවන ගුරුත්ව බලය සහ කම්පනය දරා ගැනීම සඳහා ය. එසේම අඟහරුගේ ශීත පරිසරය තුළ ක්‍රියාත්මක විය හැකි විකිරණ-ප්‍රතිරෝධී පද්ධති ද එයට ඇතුළත් වේ.
ඒකාකාරී නොවන අඟහරු චුම්බක ක්ෂේත්රය නිසා මඟ සොයා ගැනීමට මාලිමා යන්ත්‍රයක් භාවිතා කිරීමට නොහැකි බැවින් ඒ සඳහා Solar tracker කැමරාවක් භාවිතා වේ. මිට අමතරව gyros, visual odometry, tilt sensors, altimeter, සහ hazard detectors ද මෙහි ඇතුළත් වේ.
Ingenuity ගේ මෙහෙයුම
මෙම කුඩා ඩ්‍රෝන හෙලිකොප්ටරය 2020 අඟහරු මෙහෙයුමේ කොටසක් ලෙස Perseverance රෝවරයෙන් අඟහරු මතට යොදවනු ඇත. රෝවර් මෙහෙයුමේ මුල් දින 30 දී Ingenuity හෙලිකොප්ටරය පස් වතාවක් පියාසර කරවීමට අපේක්ෂා කෙරේ. මුල්ම අවස්ථාවේදී පරික්ෂා කිරීමේ ගුවන් ගත කිරීම් සිදු වන අතර පසුව ගුවන් කාලය වැඩි කෙරෙනු ඇත. එම සෑම ගුවන් ගමනකටම මිනිත්තු 3 කට වඩා අඩු කාලයක් ගත වනු ඇති අතර, බිම සිට මීටර් 3ත් 10ත් දක්වා උසකට එය පියාසැරීම සිදුවේ. එක් ගුවන් ගමනකදී මීටර් 300 දක්වාවූ දුරක් හෙලිකොප්ටරය මඟින් ආවරණය කළ හැකිය. එහි ස්වයංක්‍රීය පාලනයක් පවතින අතර එක් එක් ගොඩබෑමෙන් පසු කෙලින්ම Perseverance රෝවරය සමඟ සන්නිවේදනය කරනු ඇත

Perseverance රෝවරය සහ Ingenuity හෙලිකොප්ටරය රැගත් Atlas V-541 රොකටය ෆ්ලොරීඩාවේ කේප් කැනවරල් ගුවන් හමුදා මධ්‍යස්ථානයෙන් 2020 ජුලි මස 17 වනදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 6.30ට අභ්‍යවකාශගත කිරීමට නියමිතව තිබේ. Perseverance රෝවරය 2021 පෙබරවාරි මස 18 වන දින අඟහරු මතට ගොඩබැස්වීමටයි NASA ආයතනය සැලසුම් කර ඇත්තේ. Ingenuity අඟහරු හෙලිකොප්ටරය අපේක්ෂා කළ පරිදි ක්‍රියාත්මක වුවහොත්, අනාගත අඟහරු මෙහෙයුම් සඳහා වන සැලසුම ඒ මත ගොඩනැගීමට NASA ආයතනයට හැකිවනු ඇත.
(අන්තර්ජාලය ඇසුරින් උපුටා ගැනීමකි)


















