අපේ ආර්ථිකය, මානසික සහ සමාජයීය සංවර්ධනය වෙනුවෙන් විවිධාකාර සංකල්ප ආගම් මගින්, ඒ ඒ ක්ෂේත්‍ර වල නිපුණයන් විසින් සහ වෙනත් රටවල්/ පුද්ගලයන් ප්‍රායෝගිකව භාවිතා කිරීම මගින් එලිදක්වල තියෙනව. ඒව අපි වගේ රාජ්‍ය සේවකයො වෙනුවෙනුත් හඳුන්වල දීල තියෙනව. නමුත්, මේ සංකල්ප ක්‍රියාත්මක කිරීමේදි/ නැතිනම් හඳුන්වා දීමේ ක්‍රමයේ තියෙන අඩුපාඩුකම් නිසා බොහෝ දෙනා ඒ සංකල්ප ග්‍රහණය කර ගන්නෙ විකාරයක්/ එහෙමත් නැත්නම්  අනවශ්‍ය බරක් විදිහට. මේකට හේතුව තමයි ඒ සංකල්ප අපි අතරට ගේන‍්නෙ කට් ඕෆ් ටයිම් තියල, නොකලොත් ඉවරයි (තව තව සෙල්ලම් තියෙනව) කියන මානසික පීඩනයකුත් එක්ක. නමුත් ඒව ගැන අපි ටිකක් කාලය අරගෙන හිතට ග්‍රහණය කර ගත්තොත් ඇත්තටම ඒ සංකල්ප වල තියෙන ප්‍රයෝජනවත් භාවය අපටත් වැටහේවි. මේකත් එහෙම එක සංකල්පයක්…

 

  • මොකක්ද මේ 5S???

ජපනා හපනා කියල කතාවක් අහල ඇතිනේ. මේකත් ඉතින් ජපනගෙම වැඩක් තමා. අපි කවුරුත් දන්නවනේ, ජපානය කියන්නෙ කාර්මික ක්ෂේත්‍රයෙන් ඉතා ඉහළ දියුණුවක් ලබල තියෙන රටක්ය කියන එක. ජපානෙ එච්චර දියුණු රටක් වුනාට, ඒ රටේ ඔය කාර්මික නිෂ්පාදන වලට අවශ්‍ය කරන ස්වභාවික සම්පත් අඩුයි, ඒ වගේම දෙවෙනි ලෝක යුද්දෙදි විශාල විනාශයක් වුන රටක්. ඉතින් එහෙම තත්ත්වයක් තියෙද්දිත් මේ රට මෙච්චරටම දියුණු වුනේ කොහොමද? ඒ දියුණුවේ රහස මොකක්ද?

ඔව්. ඒ රහස් අතරින් ප්‍රධානතම රහසක් තමා මේ කියන්න හදන 5S කියන සංකල්පය. ඇත්තටම කිව්වොත් 5S කියන්නෙ කියන්නෙ කර්මාන්ත ශාලාවක් (දැනට එහෙම කියමුකෝ) කළමනාකරණය කිරීම සඳහා ඇති කරපු සංකල්පයක්.

  • 5S – S අකුරු 5 ක්. ඉතින් S අකුරු කොහෙද ජපන් භාෂාවෙ?

ජපන් භාෂාවෙ තියෙන Seiri, Seiton, Seisô, Seiketsu සහ Shitsuke කියන ජපන් වචන පහේ මුල් අකුරු අනුව තමා මේ සංකල්පය 5S කියල හඳුන්වන‍්නෙ. මේ වචන පහට සමාන තේරුම් තියෙන Sort, Set In Order, Shine, Standardize සහ Sustain කියන ඉංග්‍රීසි වචන යොදල ඒක ඉංග්‍රීසියට පරිවර්තනය කරල තියෙනව. මේකට “ස” යන්නෙන් පටන් ගන්න සිංහල වචන පහක් යොදල මේක සිංහලයටත් පරිවර්තනය කරල තියෙනව (ඒ වචන ජපන් වචන වලටත් වඩා අමාරු ගතියක් තියෙන නිසා ඒ ගැන කියන්න යන්නෙ නෑ). අපි මේ එක එකක් ගැන දීර්ඝව කතා කරන්න ඉස්සෙල්ල සරලව තේරුම් ගනිමුකෝ…

  1. Seiri– Sort – මේ කියන්නෙ අනවශ්‍ය දේවල් ඉවත් කරල අවශ්‍ය දේවල් තෝරාගන්න කියල
  2. Seiton – Set In Order – කලින් පියවරේදි තෝරගත්ත අවශ්‍ය දේවල් ටික පිළිවෙලකට තියන්න කියන එක
  3. Seisô – Shine – පිළිවෙලකට තියල විතරක් මදි, ඒ දේවල් හොඳ පැහැදිලි පිරිසිදු තත්ත්වයෙන් තියෙන්නත් ඕන
  4. Seiketsu – Standardize – මේ දේවල් පරිහරණය කරන එක අපි ප්‍රමිතියකට අනුව උසස් තත්ත්වයෙන් කරන්න ඕන
  5. Shitsuke – Sustain – එහෙම කරාට පස්සේ අපි මේ දේවල් අඛණ්ඩව පවත්වාගෙන යන්නත් ඕන

 

ලොකු දෙයක් වගේ පෙනුනට ඉතාම සරල දෙයක්. දැන් අපි මේ ගැන ටිකක් විස්තර ඇතුව හිතල බලමු.

  •  Seiri – Sort – අනවශ්‍ය දේවල් ඉවත් කරල අවශ්‍ය දේවල් තෝරාගන්න හැටි

හිතන්නකෝ. අපි ගෙදරදි පරණ වෙච්ච රෙදිකෑලි, පොත් පත්, කැඩිච්ච බඩු වගේ එකී මෙකී නොකී හැම දෙයක්ම වගේ විසිකරන්න ලෝබ කමට කොහේ හරි ගොඩගහගන්නව නේද? (දැන් මතක් වුනානෙ මොනවද කියල) ඉතින් මේ වැඩකට නැති ඒවට අපි මොකද කරන්නෙ??? ගොඩක් ඒව කාලයක් ති‍බිල දිරල ගියාම විසිකරල දානව. තවත් ඒවයෙ සත්තු බෝවෙලා විනාශ වෙනව. (එහෙම නේද) ඒ විතරක්යැ.. මේව තියන්න වැය කරන්නෙ අපිට ගෙදර ඉන්න තියෙන ඉඩකඩ ම නේද? අනික ඕවයෙ වේයො, මීයො, කැරපොත්තො විතරක් නෙමේ සමහර විට නයි පොළොංගුත් බෝ වෙනව.

ඉතින් වැඩකට නැති දේවල් ගොඩ ගහගෙන මේ විදිහෙ තත්ත්වයක් ඇති කරගන්නවට වඩා හොඳයි නේද, මේව විනාශ කරලම දැම්ම නම්. ලෝබ කමයි, කම්මැලිකමයි පැත්තකට දැම්මනම් ගොඩම තමයි. ඒ විතරක් නෙමේ විනාශ කරන දේවල් වගේම, කාලෙකට පස්සෙ ආයෙත් අවශ්‍ය වේවි කියල හිතෙන දේවල් වෙනම, ඉඳල හිටල ඕනවෙන දේවල් වෙනම, නිතරම ඕනවෙන දේවල් වෙනම කියල තෝර ගැනීමත් මෙතනදි අවශ්‍ය වෙනව.

ඒ ගෙදරනේ… එතකොට කාර්යාලයේ… කාර්යාලයෙත් එහෙම තමා… ගොඩක් වෙලාවට අයින් කරන්න තියෙන කම්මැලිකමටයි, අයින් කරල මොනව හරි ප්‍රශ්ණයක් වේවි කියන බයටයි අපි කොයි තරම් දේවල් කබඩ් අස්සෙ තියන් ඉන්නවද??? මේව නිසා රාජකාරි කරද්දි වැදගත් වෙන කාලය කොයි තරම් නම් අපතෙ යනවද? අනික ඒව අස්සෙ තියෙන දූවිල්ල… ඒව මතක් වෙද්දි, අවශ්‍ය දේකට වත් කබඩ් එකක් අරින්න හිතෙන්නෙ නෑ. ඒ විතරයැ… කවුරු හරි කබඩ් එක බැලුවොත් පටි රෝල්… ඉතින් ඒවත් අපේ ඉහල නිලධාරීන්ගෙ අධීක්ෂණය යටතේ විනාශ කරල දැම්මනම් හරි

 

දැන් ගෙදරිනුයි, ඔෆිස් එකෙනුයි නම් කුණු කන්දල් ටික අයින් කලා. ඊට පස්සෙ… තව මොනවද අයින් කරන්න තියෙන්නෙ??? ඇයි? අපේ ඔලුගෙඩි ඇතුලෙ තියෙන කුණු කන්දල් ටික. අරව නම් තිබුනත් කමක් නෑ. ඔලුවෙ තියෙන කුණු තමා හැම ප්‍රශ්ණෙකටම මුල. (අපේ සමහර ටීවී රේඩියෝ සහ පත්තර වලිනුත් අපිට මේ කුණු ගොඩවල් ඔලුවට දානව – ඒ ගැන පස්සෙ බලමුකෝ) ඒක නිසා අපි අපේ ඔලු වල තියෙන අපිටවත්, අනුන්ටවත් වැඩක් නැති වෛරය, ද්වේශය, මාන්නය, මෝඩකම, රාගය (ඕව මොනවද කියල විස්තර කරන්න ඕන නැහැනේ) වගේ කුණු කන්දලුත් ඒ ගමන්ම අයින් කරමු. (හරිම සැහැල්ලුයි නේද)

හරි සෝර්ට් කරල ඉවරයි… දැන්

  •  SeitonSet In Order – මේ කියන්නෙ කලින් පියවරේදි තෝරගත්ත අවශ්‍ය දේවල් ටික පිළිවෙලකට තියන හැටි

දැන් ‍අපේ ගෙදරත්, ඔෆිස් එකෙත්, ඔලුවෙත් අනවශ්‍ය දේවල් නැහැ. තියෙන්නෙ අවශ්‍ය කරන දේවල් විතරයි. අපි උදාහරණයක් ගනිමුකෝ. අර විදිහට තෝරගත්ත ආයුද සෙට් එකක් අපි ගාව තියෙනව. ඒකෙ ඉස්කුරුප්පු නියන් (විවිධ ප්‍රමාණ වල මල් සහ පැතලි දෙවර්ගෙන්ම 10 බැගින් තියෙනව),  අඬුවක්, මිටි දෙකක් (ප්‍රමාන දෙකක), අත් පොරවක්, අත් කියතක් වග ආයුද ටිකක් හිතමුකෝ. අපි මේ සේරම එක පෙට්ටියක දාල තියනව කියලත් හිතමුකෝ. ඔන්න අපිට හදිසියේම ඇණයක් ගලවගන්න මිලිමීටර 5 මල් ඉස්කුරුප්පු නියනක් ඕන වෙනව. ඉතින්‍ මොකද කරන්නෙ. හදිසියෙන්ම ගිහින් අර පෙට්ටියට අත දාල නියන හොයනව. ඔය අතරෙ කියතෙ දත් වැදිල අතත් හීරෙනව. අ‍ඬුවෙ තියෙන මලකඩ අතේ ගෑවෙනව. පැය කාලක් විතර හොයල යාන්තම් නියන අරගෙන යනව. ට්‍රයි කරල බැලුවම ඒක හරියන්නෙ නෑ. ආයෙත් අර විදිහට හරියන නියන හොයනව. බලන්න කොච්චර කාලයක් ශ්‍රමයක් අපතෙද? ඒ විතරයක්යැ ඇතිවෙන අප්‍රසන්න හැඟීම. ඒකට මොකද කරන්නෙ??? පොඩි දෙයක් කරන්න තියෙන්නෙ. මේ ආයුද වෙන වෙනම පිලිවෙලකට සකස් කරන එක. මල් ඉස්කුරුප්පු නියන් ටික වෙනම, ප්‍රමාණ අනුපිලිවෙලට, පැතලි ඒව ටික වෙනම ප්‍රමාණ අනු පිලිවෙලට, මිටිය, කියත, අඬුව වගේ ඒව වෙන වෙනම තැන්වල. එතකොට. අපිට ඕන කරන දේ ගියා – ගත්ත – ආව. හරිම පහසුයි.

ඔය දේම අපේ ගෙදරයි, ඔෆිස් එකෙයි කලානම් කොච්චර පහසුවක්ද, කොච්චර වෙලාවක් ඉතිරි වෙනවද, කොයි තරම් සහනයක්ද??? අපි ඔෆිස් එකේදි මේ දේ කරන හැටි බලමුකෝ. අපි අපේ ෆයිල් ටික ගනිමු. ඒකෙන් අනවශ්‍ය ෆයිල් ටික අපි කලින් පියවරේදි ඉවත් කලානේ. දැන් ඉතිරි වෙච්ච ෆයිල්, එක්කො අංක අනුපිලිවෙලට, එහෙමත් නැත්නම් විෂයය අනුව වෙන් කරල කබඩ් එකේ අහුරගත්ත නම් කොයි තරම් පහසුද? ඒ විතරක් නෙමේ ඒව පහසුවෙන් හඳුනගන්න ඒවයෙ අංක, විෂයය පැහැදිලිව පේන්න ගහල තියෙන්නත් ඕන. තවත් පහසුකරගන්න පුලුවන් එක එක විෂයට/ අංශයට වෙනම පාටක් දුන්න නම්.

අපිට මෙතනදි ඔලුවත් පිළිවෙලක් කරගන්න එක වැදගත් වෙනව. ඔලුවෙ කුණු ඉවත් කලාට, අපි අපිට හිතෙන හැම දෙයක් ගැනම එක වෙලාවකදි කල්පනා කරන්න ගත්තම… පිස්සු හැදෙනව වගේ නේද??? ඒක නිසා මෙතනදි අපි ඔලුවත්/ හිතත් එක් අවස්ථාවකදි එක් දෙයකට වශයෙන් අවධානය දක්වල පිළිවෙල කරගන්න ඕන. ණයක් අරන් ගෙවපු නැති කෙනාට බනින හැටි හිත හිතා තමන් ලඟට එන වයසක අම්ම කෙනෙක්ගෙ ප්‍රශ්ණයක් කතා කරන්න අපහසු බව අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.

  •  Seisô  – Shine – පිළිවෙලකට තියල විතරක් මදි, ඒ දේවල් හොඳ පැහැදිලි පිරිසිදු තත්ත්වයෙන් තියෙන්නත් ඕන

හ්ම්ම්ම්… දැන් කුණු අයින් කරල, පිලිවෙලකට හදාගෙන නම් ඉවරයි. ඒත් ඉතින්, කබඩ් එකෙන් ෆයිල් එකක් ගනිද්දි ගම දෙක වෙන්න කිඹුහුම් හැටක් විතර ගියොත්… දවසම ඉවරයි නේ… ඒ විතරක්යැ උණක් හෙම්බිරිස්සාවක් හැදුනොත්. ඇයි මෙහෙමෙ වෙන්නෙ??? වෙන මොකවත් නිසා නෙමේ.. දූවිලි නිසා. ඒ විතරක් යැ ඒ නිසා ඇතිවෙන අප්‍රසන්න හැඟීම. එහෙම හැඟීම් එක්ක වැඩකරන්න බැහැනේ. අනික හිතන්නකො, මොනව හරි නරක් වෙලා ගඳ ගහනවනම්. පලාතෙ ඉන්න හිතෙන්නෙ නෑනේ. එහෙමනම් අපි මොකක්ද කරන්න ඕන? ඔව් දූවිලි බින්දුවක්වත් ඉතිරි නොවෙන්න පිරිසිදු කරන්නත් ඕන. හිතන්නකෝ පිරිසිදු පරිසරයක ඉඳන් වැඩකරන්න ලැබෙන එකේ තියෙන වාසිය.

  • SeiketsuStandardize – ඊට පස්සේ මේ දේවල් අපි ප්‍රමිතියකට අනුව උසස් තත්ත්වයෙන් පවත්වාගෙන යන්න ඕන

අර කියපුව සේරම කලාට පස්සෙ අපි අපේ වැඩ ප්‍රමිතියකට අනුව පවත්වගෙන යන්නත් ඕන. කබඩ් එකේ පරණ ෆයිල් නැතත්, ඒක කොයි තරම් පිළිවෙලට තිබුණත්, බිම බත් දාගෙන කන්න පුලුවන් තරම් පිරිසිදු වුනත් වැඩක් නෑ අපි ලඟට එන කෙනෙක්ව, එකපාරක් උප්පැන්න සහතිකේ ගේන්න කියල යවනව, ඊලඟ පාර ජාතික හැඳුනුම්පත ගේන්න කියල යවනව, ඒ දෙකම ගෙනාවට පස්සෙ තවත් දෙයක් අඩුයි කියල යවනව නම්. මොකද අපි කරන වැඩවල කිසිම ප්‍රමිතියක් නෑ. එන කෙනා දන්නෙ නෑ ඊලඟට මොනව ගේන්න කියයිද කියල. ඒක නිසා අපි කරන වැඩ වල ප්‍රමිතියක් තියාගන්න ඕන. යමක් කරන්න අවශ්‍ය මෙන්න මේ දේවල් කියල එක පාරට කෙනෙක්ට පෙන්වල දෙන්න පුළුවන් කම තියෙන්නත් ඕන.  කාර්යාලයට කෙනෙක් ආවොත් කා ලඟටද තමන් යන්න ඕන කියන දේ එයාට පහසුවෙන් දැනෙන්න ඕන. ඒ විතරක් නෙමේ අපි එක සමාන ලියුමක් කිහිප අවස්ථාවකදි කිහිප දෙනෙක්ට යවනව නම් ඒ එක එක්කෙනාට එකම ලියුම නැවත නැවත ටයිප් කරන්නෙ නැතුව ඒ හැම එකකටම ගැලපෙන්න ආකෘතියක් හදාගෙන තිබුනනම් ඒක කොයි තරම් පහසුද? ඒ නිසා කාලය ඉතිරිවෙනව විතරක් නෙමේ, නිතරම ටයිප් කරද්දි එක වගේ ලියුම් දෙකක් අතර වෙනස්කම් ඇතිවීමේ අවස්ථාවත් අවම වෙනම.

ඒ විතරක් නෙමේ තමන්ගෙ හිතෙත්/ මනසෙත් මේ වගේ ප්‍රමිතියක් තියාගත්ත නම්, මම අවංකව, සාධාරණව, නිවැරදිව, විශ්වාසවන්තව කටයුතු කරනව කියල… කාටවත් බය නොවී හොඳ ජීවිතයක් පවත්වාගෙන යන්න පුලුවන්.

  •  ShitsukeSustain – එහෙම කරාට පස්සේ අපි මේ දේවල් අඛණ්ඩව පවත්වාගෙන යන්නත් ඕන

දැන් අපි අපේ නිවසෙත්, මනසෙත්, කාර්යාලයෙත් තියෙන කුණු ගොඩවල් ඉවත් කරල, ඕන දේවල් පිළිවෙලකට සකස් කරල, හොඳට පිරිසිදු කරල, ප්‍රමිතියක් අනුව කටයුතු කරන්න පටන් ගත්තනේ. ඊට පස්සේ මේ පටන් ගත්ත වැඩ පිළිවෙල අඛණ්ඩව පවත්වාගෙන යන්නත් ඕන. මාසයක් දෙකක් කරල නැවතත් පරණ පුරුදු තත්ත්වෙටම ගත්තොත් වෙන දේ ආයෙත් කියන්න ඕන නැහැනේ. අපි කාටවත් පේන්න මේ දේවල් කරන්න ඕන නැහැ (ඔෆිස් එකේදි නම් ඵලදායිතා තරඟ, කාර්යාල පරීක්ෂණ වගේ කිට්ටුව මේ දේවල් උපරිමෙන් කරල, ඒ පරීක්ෂණ/ තරඟ ඉවර වුනාම ඒ කරපුව ඔක්කොම ඉවරයි) එක හිතින් මේ දේවල් කරන්න ඕන. මුල් ටික කියවද්දි තේරෙන්න ඇතිනෙ මේ සංකල්පය ක්‍රියාත්මක කිරීමෙන් අපිට ඇතිවෙන වාසි. ඒක නිසා ඒ සංකල්පය අඛණ්ඩව ක්‍රියාත්මක කරන්න.

ඔන්න ඔහොම තමා 5S සංකල්පය ක්‍රියාත්මක වෙන්නෙ. මේ කියපු දේවල් කට පාඩම් කරනවට වඩා ඒකෙ අදහස ඔලුවට ගන්න එකයි වැදගත් වෙන්නෙ. එතකොට ඉබේටම අපි අතින් මේ සංකල්පය ක්‍රියාත්මක වේවි.

 

(අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි)

News & Events

07
Nov2023
විදේශ රැකියා සහිකය සබෑ කර ගන්න ඔබත් එක්වන්න..

විදේශ රැකියා සහිකය සබෑ කර ගන්න ඔබත් එක්වන්න..

විදේශ රැකියා සහිකය සබෑ කර ගන්න ඔබත්...

13
Sep2022
ආර්ථික අභියෝග ඉදිරියේ ඔබේ දරුවාගේ පෝෂණය රැකගන්න නම්…

ආර්ථික අභියෝග ඉදිරියේ ඔබේ දරුවාගේ පෝෂණය රැකගන්න නම්…

ආර්ථික අභියෝග ඉදිරියේ ඔබේ දරුවාගේ පෝෂණය රැකගන්න...

30
Mar2021
ජාත්‍යන්තර කාන්තා දින සැමරුම 2021 

ජාත්‍යන්තර කාන්තා දින සැමරුම 2021 

" රටකි දැයකි ලොවකි ඇය "  ...

09
Mar2021
බිබිල ප්‍රාදේශීීීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නිලවරණය පැවැත්වීම.

බිබිල ප්‍රාදේශීීීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නිලවරණය පැවැත්වීම.

බිබිල ප්‍රාදේශීීීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නිලවරණය  පසුගිය දිනක...

03
Mar2021
බිබිල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශය තුල 2021-03-01 දිනට කොවිඩ් 19 තත්වය

බිබිල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශය තුල 2021-03-01 දිනට කොවිඩ් 19 තත්වය

2021-03-01 දිනට කොවිඩ් 19 තත්වය පිළිබඳ සාරාංශක්........

18
Feb2021
 1920 කෘෂි උපදේශන සේවාව

1920 කෘෂි උපදේශන සේවාව

  ලාංකීය ගොවි ජනතාවගේ එදිනෙදා කෘෂිකාර්මික ගැටළුවලට...

16
Feb2021
ස්වාභාවික ආපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපල සඳහා වන්දි මුදල් ප්‍රධාන කිරීම.

ස්වාභාවික ආපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපල සඳහා වන්දි මුදල් ප්‍රධාන කිරීම.

   බිබිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ස්වාභාවික ආපදා...

12
Feb2021
අවසන් පැවැත්ම ගැන අනතුරු අඟවන රතු දත්ත පොත

අවසන් පැවැත්ම ගැන අනතුරු අඟවන රතු දත්ත පොත

රතු දත්ත පොත පරිසරයට ලැදි බොහෝ පිරිස්...

Scroll To Top